Saturday, June 2, 2018



සියොත් හැඟුමන්... 


ගොදුරු සොයා යළි මා මෙහි වඩින තුරා
ඉවසා සිටිනු මැන සංකා හදෙහි දරා
දිනකර රැස් නගද්දී මුළු දියත අරා
හද මෙහි තබා පියඹමි නීලඹර කරා

උණුසුම් කැදැල්ලේ සුවදෙන මව් තුරුලේ
සියුමැලි පොඩි පැටව් නැලවෙති සැනසිල්ලේ
හමනා මද පවන් රැල්ලක් නැලවිල්ලේ
මා ගත වෙලෙයි මම පියඹමි සිතිවිල්ලේ

සරතැස මකා රන් එලියක් නැග එන්නේ
පිබිදී වැනෙන වෙල්යායකි දිස්වන්නේ
සුවඳැති මුදු කුසුම් රුක්ගොමු පිනවන්නේ
හද ඔබ වෙතයි මම කෙලෙසද තුටු වන්නේ

තුරු ගොමුවක අතුපතරක බැඳී සිඟිති
කැදලි කොණේ දරුවන් උණුසුම සොයති
වටපිට කෙරෙහි විමසිලිමත් වුනු නෙතැති
විලසින් කල් යවනු මැන සොඳුරියේ හිතැති

කයින් දුබල උන්හට හිරි හැර පෑම
බලවතුනගේ ගතිය වෙයි උන් රිදවීම
නිකැලැල් වන ලොවේ තිරසර මෙම දහම
අප පිළිගත යුතුය නොහැකිය පිටුපෑම

පසුවන හැම මොහොතෙහිම ඔබ ගැන සිතමි
මා එන තුරා ඔබ ලතැවෙන බව දනිමි
අප පොඩි කැදැල්ලේ සුරලොව සුව විඳිමි
සුවබර ඉසව්වට යලි පියපත් සලමි 

- චේතනා වික්‍රමසිංහ -

Friday, May 25, 2018


.....අරුමය

පතන විට දිය බිඳක්
අනෝරා වැසි ගෙනෙන
සොයන විට කෙම් බිමක්
මිරිඟු දිය නෙත ගැටෙන
අවැසි විට මඳ නලක්
මේඝ මාරුත දෙවන
ජීවිතය අරුමයකි
දිය දහම් පසිඳවන...

ජීවිතය... අරුමයක්.. ඇත්තටම.... ආසාවෙන් බලාගෙන ඉන්න දේවල් අපෙන් ඈත් කරන.... ඊළඟට කවදාවත් බලාපොරොත්තු නොවුණු දෙයක් එකපාරටම ලගට ගෙනත් දෙන... වෙලාවකට කවියක් වගේ සුන්දර.. තවත් වෙලාවකට කල්කදුරු වගේ තිත්ත.... තවත් සමහර වෙලාවට කිසිම දෙයක් හිතාගන්න බැරි විදියට  අනියත..... ජීවිතය අරුමයක්මැයි....

- චේතනා -