එහේ මෙහේ කතා


ගොඩේ කම 

මගේ ඥාති සොයුරියකගේ විවාහ මංගල්‍ය ලං විය. විවාහ උත්සවයේ දෙවෙනි මනාලිය ලෙස පෙනී සිටීමට නියමිතව තිබුනේ මනාලියගේ නැගණියටය. ඇය සමඟ අදාළ කටයුත්තක් සඳහා, මනාලිය සහ ඇගේ යෙහෙලියන් හැඩගැන්වීමට ඔවුන් තෝරාගෙන තිබූ රාජගිරියේ පිහිටි ප්‍රසිද්ධ යයි කියන රූපලාවන්‍යාගාරයක් වෙත ගියෙමි. අදාළ ස්ථානය අප හරි හැටි නොදැන සිටි හෙයින් මඟ පෙන්වීම සඳහා අපගේ තවත් ඥාති සොයුරියක් අපගේ උදව්වට පැමිණියාය.  රූපලාවන්‍යාගාරයේ පාලිකාව විසින්  දෙවෙනි මනාලිය ලෙස පෙනී සිටින සොයුරිය ඇතුලට කැඳවනු ලැබුවාය. ඇය ආපසු පැමිණෙන තෙක් අප එහි ආලින්දයේ හිඳ සිටියෙමු. එහි අප සමග තවත් සොයුරියන් දෙදෙනෙකු හිඳ සිටියහ. ඔවුහු පැමිණ සිටියේ සම්මුඛ පරීක්ෂණයට බව අපට වැටහුණේ අදාළ රූපලාවන්‍ය ශිල්පිනිය පැමිණ අප ඉදිරියේම ඉන් එක් සොයුරියක් පරීක්ෂණයට ලක් කරනු දැකීමෙනි.  ප්‍රසිද්ධියේ නොපැවසියයුතු  පෞද්ගලික කාරණා පවා සැමටම ඇසෙන සේ ශබ්ද නගා පැවසෙන ඒ අවස්ථාවේ අපි ඒ දෙසට අවධානය යොමු නොකොට සිටීමට සැලකිලිමත් වීමු. එහෙත් අර සොයුරියට මොනවා හැඟුනාදැයි අපි නොදන්නෙමු. සම්මුඛ පරීක්ෂණය සඳහා පිටස්තර බොහෝ දෙනා ගැවසෙන ආලින්දය හැර වෙනත් ස්ථානයක් තෝරා ගත්තානම් මැනවැයි අප දෙදෙනාට හැඟිණි.  
සම්මුඛ පරීක්ෂණය අවසානයේ නැගී සිටි අර ශිල්පිනිය, අප පසුකර යන ගමන් අපව ඇමතුවාය. 
ඔයාල ගොඩෙන්ද ආවෙ? " 
සැබවින්ම අපට එය වැටහුණේ නැත. ඒ එවැන්නක් අප කිසිසේත්ම අපේක්ෂා නොකළ හෙයිනි. 
මොකද්ද කිව්වෙ..?" 
අපි නැවතත් විමසීමු. 
හහ්.. ඔයාල  ගොඩෙන්ද ආවෙ..? " 
සිංග්‍රීසි උච්චාරණයක් ආරූඪ වූ උපහාසාත්මක මුවින් ඒ වදන් අප වෙත දමා ගැසූ ඇය යන්නට ගියාය. 
අගේ උපහාසය මට හරි හැටි වැටහුණේ එවිටය. මම වික්ෂිප්ත වුණෙමි.  ඇයට අපිව එසේ පෙනෙන්නනට අප තුළ තිබූ වරද කුමක්දැයි මම සැලකිලිමත් වුණෙමි. උපන් දා සිට නාගරිකව හැදී වැඩුනු මුත්ගැමියන් ලෙස අමතනු ලැබීම අපට කිසිසේත් ප්‍රශ්නයක් නොවුණි. එහෙත් ඇය එම කටුක වදන් පාවිච්චි කළේ හුදෙක් අපට අපහාස කිරීමට බව පැහැදිලි විය. අපේ ආත්මාභිමානයට එල්ලවූ ඒ වාග් ප්‍රහාරයෙන් අපි හොඳටම කලකිරුනෙමු. පෙර කීවාක් මෙන් ගැමියන් ලෙස හඳුනාගනු ලැබීම කිසිසේත් ලැජ්ජාවට හෝ අභිමානය පළුදු වීමට කාරනාවක් නොවූවදඇගේ වදන් වල ගැබ්ව තිබූ උපහාසය ඉවසා දරා සිටීමට අපහසු විය. 
නංගිඅපි මෙතනින් යමු." 
මගේ අනික් සොයුරිය පැවසුවාය. එහෙත් අර ශිල්පිනියගේ අශීලාචාර වාග් ප්‍රහාරයට පිළිතුරක් දී මිස එතනින් ඉවත් වීමට මට සිත් නොවීය. අපේ ආත්මාභිමානය පළුදු කිරීමට ඇයට ඉඩ දිය නොහැක. 
රූපලාවන්‍යාගාරය තුළ සිටි මගේ අනෙක්  ඥාති සොයුරියට ආලින්දයේ වූ මේ කතා බහ නෑසිණි.ඇගේ අත්බෑගයද වූයේ මා අතේය.ඇයට නොදන්වා එය රැගෙන පිටතට යාමද කළ නොහැකිව තිබූ හෙයින් මම  රූපලාවන්‍යාගාරයේ දොරටුව අභියසට ගොස් අපට අපහාස කළ අර ශිල්පිනිය ඇමතුවෙමි. 
“Excuse me, Can I talk to her for a moment?”
ඇතුලත සිටි මගේ සොයුරිය දක්වමින් මම ඇසුවෙමි. 
“Of cause "  ඇය කීවාය. 
ඉන් පසු උපහාසාත්මක බැල්මක් මා දෙසට හෙලූ ඇය,
ආ... ගොඩයෝ දෙන්නෙක් නෙවෙයි නේදැයි " ඇසුවාය. 
ඒ මා ඉංග්‍රීසියෙන් ඇය ඇමැතූ නිසා බව මට හොඳින් වැටහිණි. 
අනතුරුව මගේ සොයුරිය ඇමැතූ ඇය
මෙන්න ඔයාගේ ගොඩේ යාළුවො දෙන්නට ඔයාට කතා කරන්න ඕනෙලු. " යි කීවාය.
ඇගේ අරමුණ අපට අපහාස කිරීමම වන බව මෙයින් අපට ඉඳුරාම පසක් විය. මම මුවින් නොබැන ඉවසා සිටියෙමි. 
මා සොයුරියද වික්ෂිප්තව හැරී බැලුවාය. ඇගේ අත් බෑගය මේසයක් මත තබාඅප ඉවත යන බව ඇයට දැන්වූ මමඅර ශිල්පිනියට ස්තුති කොට ආපසු හැරුණෙමි. 
මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටින මමඑවකට  සරසවි ශිෂ්‍යාවක් වූ අතර මා සමග සිටි අනෙක් සොයුරිය ජාතික රෝහලේ හෙද නිලධාරිනියක වූවාය. අදාළ ශිල්පිනිය අපගේ නාගරික හෝ ග්‍රාමීය බව මැනීමට භාවිතා කළ මිනුම කුමක්දැයි අපි නොදනිමු. බොහෝ දුරට ඒ අපේ බාහිර පෙනුම විය යුතුය. මන්ද යත් තැනට නොවටිනා කිසිදු හැසිරීමක් අපෙන් ප්‍රදර්ශනය නොවූ බව අප ඉඳුරාම දත් හෙයිනි.  අප දෙදෙනාම, චාම් වුවත් තැනට උචිත පරිදි හැඳ පැළඳ සිටියෙමු. අදාළ ශිල්පිනිය ඇඳුම් පැළඳුම් සහ බාහිර පෙනුමෙන් මිනිසුන් මනින තත්වයට පත් වූ කෙනෙකු බව පෙනිණි. නැත්නම් අප පිළිබඳව කිසිත් නොදැන අපට එසේ අපහාස නොකරනු ඇත. සරලචාම් ගති පැවතුම් වලින් යුතු අපගේ මවුපියන් ඇතුළු අප ආශ්‍රය කරන විධග්ධ සමාජය තුළ බාහිර පෙනුමෙන් නොව, පුද්ගලයෙකුගේ අභ්‍යන්තරය තුළින් ඔහුගේ හෝ ඇයගේ තත්වය තීරණය කිරීමට හුරුවී සිටින  හෙයින්අනවශ්‍ය ලෙස සංකර ඇඳුම් පැළඳුම් පරිහරණයට අප හුරු වී නොසිටින බව කිව යුතුය. එවන් සමාජයක ජීවත් වීම වාසනාවක් ලෙස මම දකිමි. එම ගතිගුණය අර ශිල්පිනියට පෙනුනේ 'ගොඩේ කමලෙසය. එය සමස්ත ග්‍රාමීය ප්‍රජාවටම කරන ලද නින්දාවකි. ඇගේ පහත් මානසික මට්ටම පිළිබඳව ඊට වඩා අටුවා ටීකා වුවමනා නැතැයි සිතමි. 
අනෙක් අතට ව්‍යාපාරික කාන්තාවක්සිය සේවාලාභීන් මෙලෙස අපහසුතාවයට පත් කරනු මා දුටු ප්‍රථම අවස්ථාව මෙයයි. ඇගේ අරමුණ කුමක්දැයි අපි නොදනිමු. සමහර විට අප එතරම් සැලකිල්ලට නොගන්නා සංකර විලාසිතාවන්ගෙන් අනූන වූ ඇගේ තත්වය අපට වඩා ඉහල බව අපට අඟවමින් උදම් ඇනීම විය හැක. ඇයට අනුකම්පා කිරීම හැර වෙන කුමක් කරන්නද
කෙසේ නමුත් අපට කළේ විහිළුවක් බව පසුව ඇය මගේ ඥාති සොයුරියට පවසා තිබුණාය. අපහාසයත්උපහාසයත් අතර වෙනස ඈට කියා දෙන්නට නොහැකි වීම ගැන මම කණගාටු වෙමි. 
අවසානයේ කිව යුතු එක දෙය ඇත. ඒ ඇය මගේ ඥාති සොයුරියගේ හැඩගැන්වීම් කටයුතු ඉතා අලංකාර ලෙස සිදුකර තිබූ බවයි. කලාතුරකින් දක්නට ලැබෙන ආකාරයේ සුන්දර මනාලියක් හා දෙවන මනාලියක් ලෙස මගේ සොයුරියන් දෙදෙනා මංගල   උත්සවය එළිය කළහ. ඉදින්ඇය දක්ෂ  රූපලාවන්‍ය ශිල්පිනියක් බවට විවාදයක් නැත. තම මුවින් ගිලිහෙන එකම එක වදනක් වුවදඅන් ඇයගේ හදවත් බිඳීමට සමත් වන බව මින් මතුවටවත් ඇයට පසක් වේවා..!! 

No comments:

Post a Comment